Saturday 7th of March 2026

English Tamil
Advertiesment


රනිල් - සජිත් අතරට රවීගෙන් බෝම්බයක්..!


2026-03-03 1298

 

මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනි.ගමේ ජනතාවගේ බලාපොරොත්තුව ඒක.එකතුවෙලා වැඩකරන්න මුලින්ම.ඊට පස්සේ පුළුවන් කවුද නායකයා කියලා තිරණය කරන්න.සජබ - යුඑන්පි එකතු වෙනවාට අකමැති කීපනෙක් ඉන්නවා. ඉදිරියේදී මම ඒ නම් හෙලි කරන්න සුදානම්.සජිත් හලනවාද,රනිල්ව හලනවාද කියන එක පස්සේ තීරණය කරමු."ඒ එජාප මන්ත්‍රී රවී කරුණානායක පහුගියදා කරපු ප්‍රකාශයක්.

එජාප - සජබ එකතුවක් ගැන සාකච්ඡාව පටන් ගන්නේ එජාපය සහ සජබ වෙන්වුන දවසේමයි.ඒ වෙන කවුරුවත් නෙවෙයි,එජාප ජන්දදායකයා විසින්.එජාප ඡන්දදායකයින් බහුතරයක් ඒ සාකච්ඡාව අවසන් කළේ එජාප සජබ එකතුවක් වෙනතුරු තමන් එජාපට හරි සජබය හරි ඡන්දෙ දෙන්නේ නෑ කියන දැඩි තීරණයේ ඉඳන්.ඇත්තටම එජාපය කියන්නේ ලක්ෂ 45 ක විතර ඡන්ද බේස් එකක් තිබුණා පක්ෂයක්.

මේ ඡන්ද පදනමෙන් දැන් 50% කට වැඩිය පිරිසක් ඡන්දපොලට එන්නේ නෑ.ඒ වගේම එයාලා වෙන පක්ෂයකට ඡන්දය දෙන්නෙත් නෑ.උදාහරණයක් විදිහට 3% තිබුණ මාලිමාව ඡන්ද 68 ලකීෂයක් දක්වා ගියේ එජාප ඡන්ද අරගෙන නෙවෙයි. මාලිමාවට වැටුණු ඡන්දවලින් අති බහුතරය පොහොට්ටුවේ ඡන්දය.එජාප ඡන්දවලින් මාලිමාවට ගියේ ඉතාමත්ම අඩු ප්‍රතිශතයක්.දැන් මාලිමා ආණ්ඩුව ගැන ජනතාවගේ කලකිරීම වේගයෙන් වර්ධනය වෙනවා.

මාලිමාවට ඡන්දය දුන්න ඡන්දදායකයා වේගයෙන් මාලිමාව දාලා යනවා.මේ දාලා යන ඡන්දායකයා ගොඩක් වෙලාවට එකතු වෙන්නේ වමේ කඳවුරට. ඒ කියන්නේ පොහොට්ටුවට,දිලිත්ට,ශ්‍රීලනිපයට සහ අනිත් අවශේෂ වමේ කියාගන්නා පක්ෂවලට. ඒක පහුගිය පලාත් පාලන ඡන්දයේදී දැක්කා.පලාත් පාලන ඡන්දයේදී වැඩිම වර්ධනය පෙන්නුවේ පොහොට්ටුව.පොදුජන එක්සත් පෙරමුණ,සර්වජන බලයත් යම් වර්ධනයක් පෙන්නුවා.පාඨළීගේ ජනරජ පෙරමුණේ සහ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ සීමිත වර්ධනයක් තිබුණා.

හැබැයි සජබයවත්,එජාපයවත් සාපේක්ෂව ලොකු වර්ධනයක් පෙන්නුවේ නෑ.ඒකට හේතුව තමයි ලංකාවේ සක්‍රීය බයි ඡන්ද සජබයට සහ එජාපයට එන්නේ නෑ.ඒක නිසා කොයි වෙලාවක හරි මාලිමාවෙන් ගැලවෙන ඡන්ද බහුතරය පොහොට්ටුව එකතුවීම ඇතුලේ කොතනකදී හරි පොහොට්ටුව සජබය අභිබවා යෑමේ සම්භාවිතාවයක් තියනවා.රටේ රාළ කියන්නේ යම් විදිහකින් පලාත් සභා ඡන්දය තිබ්බොත් සජබය සහ පොහොට්ටුව අතර කරට කර සටනක් තියනවා.

සජබය දිනුවත් ඉතාමත් සුළු බහුතරයකින් තමය දිනන්නේ.හැබැයි ඊළඟ ඡන්දයේදී පොහොට්ටුව සජබය අභිබවා යනවා.මාලිමාව කඩා වැටෙන ප්‍රමාණයට සාපේක්ෂව උඩ යන්නේ පොහොට්ටුව. මොකද පොහොට්ටුවේ ගැලවුන ඡන්ද නැවත පොහොට්ටුවට එනවා.ඇත්තටම නාමල් ඒ ඡන්දවලට හොඳට ඇඩ්රස් කරනවා.දකුණේ කඳවුරේ එකතුවක් ගැන ලොකු සාකච්ඡාවක් දැන් කාලයක පටන් තියෙනවා.

හැබැයි මේ සංවාද සංවාදවලට විතරක් සීමාවෙලා තියනවා.කවදාවත් එකතුවීමක් වෙන්නේ නෑ. එජාප සජබ එකතු නොවෙන තාක් අර ගෙදරට වෙලා ඉන්න එජාප ඡන්දදායකයා සක්‍රීය වෙන්නේ නෑ.සජබ එජාප දෙක උත්තරය හදන්න ඕනි එතෙන්ට.එහෙම නැතිව සජිත්ගේ අර හැකියාවයි, රනිල්ගේ මේ හැකියාවයි ගැන කියකියා හිටලා වැඩක් නෑ.මෙතනදී රවී කියන කතාව තමයි ඇත්ත.ඒක අපි ගමේදී දකිනවා.ගමේ සජබ - එජාප පාක්ෂිකයාගේ උත්තරය ඒක.

රවී කියන්නේ ඒ ඡන්දදායකයා නැවත ඡන්දපොලට ගෙන්වා ගන්නේ නැතිව උඩ ඉඳන් මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කියලයි.රවී මෙතනදී මෙතෙක් කල් කවුරුත් නොගහපු බෝම්බයක් ගැහුවා.රවී කියන්නේ සජබ - එජාප එකතුවකට එරෙහි කීපදෙනෙක් එජාප සහ සජබ දෙකේම ඉන්නවා කියලයි.තව ටික තවසකින් රවී ඒක හෙලි කරනවා කියලත් කියනවා.ඒක නිසා රටේ රාළ ඒ ගැන අනාවැකි කියන්න යන්නෙ නෑ.හැබැයි එහෙම අය ඉන්නවා නං එයාලගේ අරමුණ මොකද්ද කියලා විතරක් රටේ රාළ කියලා තියන්නම්.

එහෙම අය එජාපයේ ඉන්නවා නං එයාලා සේවය කරන්නේ එජාපයට නෙවෙයි.එහෙම අය සජබයේ ඉන්නවා නං එහෙම අය සේවය කරන්නේ සජබයටත් නෙවෙයි.සජබය සහ එජාප දෙකඩ වෙලා තියනකන් සජිත්ටවත්,එජාපයටවත් මේ රටේ රාජ්‍ය බලය ගන්න හිතන්නවත් බෑ.ඒක නිසා එජාප සජබ එකතුවට හතුරුකම් කරන අය මේ හදන්නේ දකුණේ ඉන්න ගමන් වමේ කඳවුර ශක්තිමත් කිරීමයි.දැන හෝ නොදැන වෙන්නේ ඒක.

ඒ විතරක් නෙවෙයි දකුණු කඳවුරෙ බලය එකතු නොකර සජබ,එජාප සහ නිශ්ක්‍රීය විදිහට තියන එකෙන් ආණ්ඩුව අවස්ථා ලැබෙනවා මුළු දකුණු ඉවුරම වනසන්න.මුලදී බිල්ල රනිල් වෙන්න පුළුවන්.ඊළඟ දකුණේ කඳවුරේ ආණ්ඩුවට තර්ජිත පුද්ගලයෝ ටාගට් කරන එක නවත්තන්න බෑ.සජබය ඇතුලෙත් ආණ්ඩුවට හිසරදයක් උන චරිත ගණනාවක් ඉන්නවා.ඒ නිසා දකුණු ඉවුරට පහරදීමේ ඉඩ හදලා දෙන්නේ දකුණු ඉවුරෙන්ම තමයි.රවී කියන්නේ ඉස්සෙල්ලා කඳවුර හදමු ඊට පස්සේ කඳවුර ඇතුලට ඇවිත් ඇතුලේ ප්‍රශ්න බේරගමු කියලයි.

ඇත්තටම ඒක තමයි උත්තරය.මේ අවුරද්ද ඇතුලත බරපතල දේශපාලන,ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට අපේ රට මුහුණ දෙනවා.

ඒ වෙලාවට ඔය කඳවුර සංකල්පය අහෝසි වෙලා අපට එක්ව මුහුණ දෙන්න වෙනවා.හැබැයි ඒ වෙලාව වෙනකොට තමන්ගේ කඳවුර ශක්තිමත් කරගෙන තියාගෙන ඉන්න එක හොඳයි.රටේ රාළ නං බොහෝම පැහැදිලිවම කියලා ඇති රටේ රාළ ඔය එක කඳවුරක්වත් නියෝජනය කරන්නේ නෑ කියලා.රටේ රාළ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය.ශ්‍රී ලංකා රාජ්‍යය ඉස්සරහා රටේ රාළ එජාප, සජබ.පොහොට්ටුව,ශ්‍රීලනිප,මාලිමා,සර්වජන බලය.ජනරජ පෙරමුණ,ජානීපෙ ඔක්කොම එකයි.

ශ්‍රී ලංකා රාජ්‍යයට පක්ෂ කවුද?ශ්‍රී ලංකා රාජ්‍යයට පක්ෂ ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක විතරයි රටේ රාළ වැදගත්.හැබැයි මේ එන අර්බුදයේ දිග පළල ගැන හිතන්න ශ්‍රී ලංකා රාජ්‍යය පක්ෂපාතී සියලු දෙනාට එක්සත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා.එතනට එකතු කරන්න පුළුවන් සියල්ල එකතු කරන්න ඕනි කියන තැන රටේ රාළ ඉන්නවා.

ඒ වෙනකොට තමන්ගේ කඳවුර ශක්තිමත් කරගෙන තියන එක හොඳයි.

රවී කරුණානායක දරන මේ උත්සාහයත් රටේ රාළ කියන අරමුණත් එක්ක හැපෙන්නේ නෑ.

 

- රටේ රාළ -
Advertiesment